Friday, June 29, 2012

ජගත් පරිසර විමසුම - 128
(ධනේෂ් විසුම්පෙරුම)



රියෝ +20 සමුළුවට පෙර ලියූ සටහනක්‌

ඔබ මේ විමසුම කියවන මොහොත වන විට රියෝ +20 සමුළුව ආරම්භ වී තිබේ. ඒ සඳහා දහස්‌ ගණනක පිරිසක්‌ ලෝකයේ විවිධ රටවල සිට බ්‍රසීලයේ රියෝ ද ජැනේරෝ වෙත පැමිණ සිටිය හ. මේ අතර රටවල් රැසක රාජ්‍ය නායකයෝ ද වෙති. මේ සමුළුව විවිධ ආකාරයෙන් හඳුන්වා දී ඇති අතර ඉන් සමහරක්‌ මෙසේ ය. 'තිරසර ආර්ථිකයක්‌ කරා ගමන් කිරීම සඳහා පරම්පරාවකට වරක්‌ ලැබෙන අවස්‌ථාවක්‌' ලෙසින් මෙය බන් කි-මූන් විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. එසේ ම 'වැදගත් අවස්‌ථාවක්‌' ලෙසත් ඔහු මෙය නම් කර ඇත.

දින තුනක්‌ පුරා පැවැත්වෙන මේ සමුළුවේ අරමුණ හා එහි ඇති වැදගත්කම පිළිබඳව ද අපි මේ තීරුව ඔස්‌සේ වරින් වර සාකච්ඡා කළෙමු. ඊට සම්බන්ධ සියලු පාර්ශ්වවල අරමුණ වන්නේ මෙහි දී කිසියම් වූ වර්ධනයක්‌ අත්පත් කරගැනීම ය. එහෙත් සමුළුවෙන් කිසිවක්‌ බලාපොරොත්තු විය හැකි ද යන්න හා එහි දී ඇති විය හැකි වර්ධනයක්‌ පිළිබඳව ඇත්තේ ගැටලුසහගත තත්ත්වයක්‌ බව ද අපි පෙන්වා දුන්නෙමු. කෙසේ වෙතත් අද වන විට සේ සම්බන්ධව සාකච්ඡාවට ලක්‌ ව ඇති කරුණු කිහිපයක්‌ පිළිබඳව ද කිසියම් අවධානයක්‌ යොමු කිරීමට අද අපේක්‌ෂා කරමු.

එකඟතාව දුබල වේ?

රියෝ +20 සමුළුවේ දී ඇති වනු ඇතැයි අපේක්‌ෂිත එකඟතාව කෙබඳු ආකාරයේ එකක්‌ වේ ද යන්න පිළිබඳව විවිධ අදහස්‌ පළ කරන ආකාරය දැකිය හැකි ය. පසුගිය ජනවාරි මාසයේ දී මුලින් ම නිකුත් කරන ලද එහි කෙටුම්පත මේ වන විට සාකච්ඡා වට ගණනක දී වෙනස්‌ වී තිබේ. එහෙත් එහි ඇති කරුණුවලින් පිළිගැනීමට ලක්‌ ව තිබුණේ පහෙන් එකක තරම් වූ කරුණු ප්‍රමාණයකි. සෙසු කරුණු සම්බන්ධව තවමත් මතභේද පවත්නා බව වාර්තා විය. මෙහි ඇති විශේෂත්වය වන්නේ මුල් කෙටුම්පතේ සිට මේ දක්‌වා එහි ඇති වගන්තිවලට විවිධ පාර්ශ්ව විරුද්ධ වීම ය. ඇමෙරිකාව, චීනය හා 77 කණ්‌ඩායම, යුරෝපා සංගමය මෙන්ම රුසියාව ද මේ ඇතැම් වගන්තිවලට විරුද්ධ වූ රටවල් අතර වේ.

මේ වන විට ලැබෙන වාර්තාවලට අනුව ජලය හා බලශක්‌තිය පිළිබඳ අංශවල දී සමුළුවේ එකඟතාව දුර්වල එකක්‌ විය හැකි ය. නිදසුනක්‌ ලෙස සැමට නූතන බලශක්‌තිය ලබා දීම හා පුනර්ජනනය කළ හැකි බලශක්‌තියේ හා බලශක්‌ති කාර්යක්‌ෂමතාව පිළිබඳ ඉලක්‌ක 'අනුමත කිරීම' වෙනුවට දක්‌වා ඇත්තේ 'සැලකිල්ලට ගත්' බවකි. ජලය සම්බන්ධව ද යොදාගෙන ඇති යෙදුම්වලින් ප්‍රබල පණිවිඩයක්‌ නොලැබේ.

අනෙක්‌ අතට මෙහි දී එකඟ වී ඇති කරුණු අතර සමහරක්‌ පිළිගැනීමට ලක්‌ ව ඇත්තේ ප්‍රතිපත්තිමය වශයෙන් පමණි. ඒවායේ නිශ්චිත ඉලක්‌ක හෝ නිශ්චිත දින වකවානු හෝ කිසිවක්‌ දක්‌වා නැත. මේ නිසා ලෝකයේ මිනිසුන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව මේ ගිවිසුම් කෙටුම්පතෙන් කෙතරම් විසඳුමක්‌ ලැබේ ද යන්න ඇතැම් කණ්‌ඩායම් විසින් ප්‍රශ්න කෙරී තිබේ. දියුණු වන රටවල් කලක පටන් අපේක්‌ෂා කරන කරුණක්‌ මේ කෙටුම්පතේ පිළිගෙන ඇත. එනම් දියුණු හා දියුණු වන රටවලට 'පොදු එහෙත් වෙනස්‌ වූ වගකීම්' ඇති බව ය. මෙය දියුණු වන රටවලට වැදගත් වන්නේ යම් යම් සීමා කිරීම් වැනි අවස්‌ථාවල දී ය. නිදසුනක්‌ ලෙස හරිතාගාර වායු විමෝචන සීමා කිරීම දැක්‌විය හැකි ය. (එසේ ම ඇතැම් දියුණු වන රටවලට අවශ්‍ය ව ඇත්තේ ඔවුන් ගේ පාරිසරික ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය හෝ තාක්‌ෂණික සහයෝගයයි. විශේෂයෙන් විදේශ ආධාර ලෙස දියුණු රටවල් විසින් ලබා දෙනු ලබන මුදල නිසි පරිදි ලබා ගැනීම ඔවුන් ගේ අරමුණු අතර වේ.)

එක්‌ ජාත්‍යන්තර පරිසර ක්‍රියාකාරිකයකු ප්‍රකාශ කර තිබූ පරිදි, මේ කෙටුම්පත සම්බන්ධව විය හැක්‌කේ කරුණු දෙකකි. ඉන් එකක්‌ නම් දුර්වල ගිවිසුමක්‌ අත්සන් තැබීම ය. අනෙක වන්නේ එකඟතාවකින් තොර ව එය සම්පූර්ණයෙන් ම බිඳවැටීම ය. මේ කුමන කරුණකින් හෝ ලෝකයට අවශ්‍ය දේ නො ලැබේ. (අප මේ ප්‍රකාශයට කෙතරම් අකැමැති වුවත් යථාර්ථයක්‌ ලෙස සිදු විය හැක්‌කේ එවැන්නකි) 'අපට අවශ්‍ය අනාගතය' නම් මේ එකඟතාව දුබල එකක්‌ වුව හොත් එය අනාගත සංරක්‌ෂණ ව්‍යාපාරයට තීරණාත්මක ලෙස හානිකර විය හැකි ය.

තනි විසඳුමක්‌ නොමැත

ලෝකයේ තිරසාරභාවය අත්පත් කරගැනීම එක්‌ මාර්ගයක්‌ මත රැඳුණු විසඳුමකින් අපේක්‌ෂා කළ නොහැකි බවත් ඒ සඳහා වඩා වෙනස්‌ වූ ප්‍රවේශ කිහිපයකින් යුක්‌ත විසඳුම් අවශ්‍ය විය හැකි බවත් අධ්‍යයන වාර්තාවක්‌ මඟින් පෙන්වා දී තිබේ. මෙතෙක්‌ ලෝකය අනුගමනය කළ ක්‍රියාමාර්ගවල අසාර්ථකත්වය මේ වන විට පෙනී ගොසිනි.

අපේ ලෝකයේ සීමාව තුළ, තිරසර ආකාරයෙන් අපේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අපට නව සොයාගැනීම් සඳහා වැඩි අවස්‌ථා ලබා දීම අවශ්‍ය වේ. එසේ ම මේ සඳහා ප්‍රජා මට්‌ටමේ ක්‍රියාකාරීන්ට බලය හා පිළිගැනීමක්‌ ලබා දිය යුතු ය. මෙහි දී එකිනෙක හා බැඳුණු කරුණු තුනක්‌ පිළිබඳව අවධානය යොමු කළ යුතු ව තිබේ.

ඒ දිශානතිය, විවිධත්වය හා ව්‍යාප්තිය යන කරුණු ය. විවිධත්වය යනුවෙන් මෙහි දී අදහස්‌ කරනු ලබන්නේ විවිධ ප්‍රවේශ හා නව සොයාගැනීම් සඳහා අවස්‌ථාව ලබා දිය යුතු බව ය. මේවා තාක්‌ෂණික හෝ සමාජයීය විය හැකි අතර ඉන් ලෝකයේ තිරසාරභාවයට යම් පිළියමක්‌ ලැබෙන්නේ නම් එය සාර්ථක පිළවෙතකි. ඉහත දක්‌වා ඇති තෙවැනි කරුණ වන ව්‍යාප්තියෙහි වැදගත් වන්නේ ලබා දෙන විසඳුම්වලින් ප්‍රයෝජන ලැබෙන්නේ කාට ද යන්න හා පාඩුවක්‌ සිදු වන්නේ කාට ද යන්න ය. ප්‍රජාමූලික ක්‍රියාකාරකම් වඩාත් වැදගත් වන්නේ වඩාත් පීඩාවට පත් ව ඇති පිරිස්‌ වෙත ඉන් ප්‍රයෝජන ලැබෙන නිසා ය. (මූලාශ්‍රය Transforming Innovation forSustainability, http://steps-centre.org)

ජනගහනය හා පරිභෝජනය ගැන අවධානයක්‌ අවශ්‍යයි

ලෝක පරිසරයේ තත්ත්වය යහපත් ව පවත්වාගෙන යැමට නම් ලෝකයේ ජනගහනය හා පරිභෝජනය පිළිබඳව රියෝ සමුළුවේ දී අවධානය යොමු කරන මෙන් ලෝකයේ ප්‍රකට විද්‍යාඥයන් පිරිසක්‌ ලෝක නායකයන් ගෙන් ඉල්ලා තිබිණි. අතීතයේ මේ සම්බන්ධව සිදු වූ පසුබෑම් නිසා වර්තමාන ගැටලුසහගත තත්ත්වය ඇති වී තිබෙන බව ඔවුන් පෙන්වා දී ඇත. අධික ජනගහන වර්ධනය මෙන්ම අධි පරිභෝජන රටාව ද ලෝකයේ සම්පත් කෙරේ බලපා ඇති බරපතළ ගැටලු දෙකකි. මේ කරුණු රියෝ සමුළුවේ එකඟතාවේ කෙටුම්පතට ඇතුළත් වුවත්, එය එතරම් අවධානයක්‌ යොමු වී නොමැති කරුණකි. මේ නිසා උක්‌ත විද්‍යාඥයන් පිරිස ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව යම් අවධානයක්‌ යොමු කරන ලෙස ය.

මේ ඉල්ලීම කළ සියයකටත් අධික වන මේ විද්‍යාඥයන් පිරිසට ලෝකයේ දියුණු රටවල මෙන්ම දියුණු වන රටවල විද්‍යඥයන් ද අයත් වීම විශේෂත්වයකි.


පුවත් සැකෙවින්
වේලි නිසා අනතුරුට පත් මාළු

වේලි බැඳීමෙන් මිරිදියේ ජීවත් වන මත්ස්‍යයන්ට හා වෙනත් ජීවී විශේෂවලට කිසියම් අහිතකර බලපෑමක්‌ සිදු වන බව මේ වන විට ප්‍රත්‍යක්‌ෂ කරුණකි. මසුන් ගේ සංක්‍රමණ රටා වෙනස්‌ වීම, බිත්තර දමන ප්‍රදේශ හා ආහාර ලබාගන්නා ප්‍රදේශ වෙනස්‌ වීම, ජලයේ සාමාන්‍ය ප්‍රවාහයේ වෙනස්‌ වීම් ඇති කිරීම මේ අතර වේ. එහෙත් ප්‍රමාණවත් තරම් තොරතුරු නොමැති වීම නිසා මේ පිළිබඳ නියම තත්ත්වය පැහැදිලි කර ගැනීමට නොහැකි වී තිබේ. කෙසේ වෙතත් වේලි බැඳීම් නිසා අනතුරට පත් වන මත්ස්‍ය විශේෂ පිළිබඳව සිදු කරන ලද පසුගිය දා ප්‍රකාශයට පත් අධ්‍යයනයකින් මේ සඳහා පිළිතුරු ලබා දී තිබේ.

එකිනෙකට වෙනස්‌ පාරිසරික කලාප 397ක පිහිටා ඇති මීටර 15කට වඩා උස්‌ වේලි පිළිබඳව සිදු කර ඇති මේ අධ්‍යයනයෙන් මත්ස්‍ය විශේෂවලට වැඩි ම තර්ජනයක්‌ එල්ල කරන ප්‍රදේශ දහ අටක්‌ නම් කර ඇත. අධික ලෙස වේලි බැඳීම නිසා මසුන්ට මේ තර්ජනය ඇති වේ. මේ ප්‍රදේශවල මත්ස්‍ය විශේෂ සංරක්‌ෂණය සඳහා කඩිනම් පියවර ගත යුතු බව ද මේ වාර්තාව පෙන්වා දෙයි. ආඳන්, සැමන් මසුන් හා සංක්‍රමණික හැසිරීම් පෙන්වන වෙනත් මත්ස්‍යයන් මේ ආකාරයෙන් වැඩි තර්ජනයකට ලක්‌ ව ඇති විශේෂ අතර වේ. (මූලාශ්‍රයBioScience, DOI: 10.1525/bio.2012.62.6.5)
ඇමෙරිකානු කූගර ගහනය වර්ධනය වේ
ඇමෙරිකාවේ වාසය කරන කූගරයන් හෙවත් ඇමෙරිකානු කඳුකර සිංහයන් ගේ (Puma concolor) ගහනය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් ඇති බව වාර්තාවක සඳහන් වේ. මිනිසුන් විසින් දඩයම් කිරීම මෙන්ම මේ සතුන් ගේ ගොදුරු වූ සත්ත්ව විශේෂ වඳ වී යැම ආදී විවිධ හේතු නිසා වසර සියයක්‌ පමණ කාලයක්‌ පුරා අඩු වෙමින් පැවැති මේ මාංශභක්‌ෂක සතුන් ගේ ගහනය ඇතැම් ප්‍රදේශවල හෝ යළි වර්ධනය වීමට පටන්ගෙන ඇත.

අධ්‍යයනවලින් අනාවරණය වී ඇති ආකාරයට කූගරයින් වඳ වී ගොස්‌ තිබූ ඇතැම් ප්‍රදේශවල ඔවුන් ගේ ස්‌ථාවර ගහන ඇති වන බවක්‌ යළි වාර්තා වී තිබේ. කූගරයන්ට යෝග්‍ය පරිසරයක්‌ සහිත ප්‍රදේශවලට සමීප ව මොවුන් හමු වීම ද වැදගත් කරුණකි. දැනට අනාවරණය වී ඇති පරිදි එරට මධ්‍ය බටහිර ප්‍රදේශයේ ඔවුන් ගේ ව්‍යාප්තියක්‌ දැකිය හැකි ය. (මූලාශ්‍රයJournal of Wildlife Management,DOI: 10.1002/jwmg.396)
ලොව විශාලතම සාගර ආරක්‌ෂිත ප්‍රදේශය ඔස්‌ට්‍රේලියාවේ
ලෝකයේ විශාලතම සාගර ආරක්‌ෂිත ප්‍රදේශ ජලාය පිහිටුවීමට ඔස්‌ට්‍රේලියාව සූදානම් වේ. වර්ග කිලොමීටර මිලියන 3.1ක පමණ ප්‍රදේශයක්‌ ආවරණය මේ සාගර ආරක්‌ෂිත ප්‍රදේශ ජාලය ඔස්‌ට්‍රේලියාවේ සමස්‌ත මුහුදු ප්‍රදේශයෙන් තුනෙන් එකක්‌ පමණ වනු ඇත. මින් විශාලතම ආරක්‌ෂිත ප්‍රදේශය වන්නේ එරටට ඊසානදිගින් පිහිටා ඇති කොරල් මුහුදයි. එසේ ම ලෝක ප්‍රකට මහා බාධක පරය ද මේ ආරක්‌ෂිත ප්‍රදේශ ජාලයට අයත් වේ.

මේ සඳහා වූ සැලසුම් වසර ගණනක්‌ තිස්‌සේ සාකච්ඡාවට ලක්‌ වූ අතර එහි අවසන් සාකච්ඡා මේ වන විට පැවැත්වේ. ආරක්‌ෂිත ප්‍රදේශයක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මේ ප්‍රදේශයේ මසුන් මැරීම හා ගෑස්‌ හා තෙල් සඳහා කැණීම් සිදු කිරීම සඳහා සීමා පැනවෙනු ඇත.

සාගර ආරක්‌ෂිත ප්‍රදේශ සංරක්‌ෂණ ක්‌ෂේත්‍රයේ කලක පටන් සාකච්ඡාවට ලක්‌ ව තිබූ කරුණකි. විශේෂයෙන් මත්ස්‍ය විශේෂවල ගහන යථා තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා ආරක්‌ෂිත ප්‍රදේශවල අවශ්‍යතාව පිළිගත් කරුණකි.


Source ; www.vidusara.com/2012/06/20/viduindex.htm

No comments: